ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස මෙරටට රැගෙන ඒමට STF නිලධාරීන් දෙදෙනෙක් නේපාලයට

ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස මෙරටට රැගෙන ඒමට STF නිලධාරීන් දෙදෙනෙක් නේපාලයට

October 15, 2025   09:23 am

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් "ගණේමුල්ල සංජීව" ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් පස්දෙනා දිවයිනට රැගෙන ඒමට සහාය වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙදෙනෙකු නේපාලය බලා පිටත්ව ගොස් තිබේ.

මේ වන විට අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු නේපාලයේ රැඳී සිටින අතර ඔවුන්ට සහාය වීම සඳහා මෙම නිලධාරීන් දෙදෙනා පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.

නේපාල ආරක්ෂක අංශ සමග සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක නේපාලයේ කත්මන්ඩු නුවර සිට කිලෝ මීටර් 18ක පමණ දුරින් වු නිවසක රැඳී සිටිය දී ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

ඉෂාරා සෙව්වන්දිට අමතරව අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් 5 දෙනා අතර කාන්තාවක් ද වන අතර ඇය ඉෂාර සෙව්වන්දිගේ රුවට සමාන රුවකින් සමන්විත බව වාර්තා වෙයි.

"ගණේමුල්ල සංජීව" ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සමග තවත් පුද්ගලයින් සිව්දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් අතර "කෙහෙල්බද්දර පද්මේ" නැමැති අපරාධ කල්ලි නායකයාගේ සමීපතමයෙකු ද සිටින බව වාර්තා වෙයි.

පසුගිය පෙබරවාරි 19 වන දින නඩු කටයුත්තක් සඳහා අලුත්කඩේ අධිකරණය වෙත පැමිණි "ගණේමුල්ල සංජීව" එම අධිකරණ සංකීර්ණය තුළ දී වෙඩිතබා ඝාතනය කර තිබුණි.

නීතිඥයෙකු ලෙස සැරසී අධිකරණ සංකීර්ණය තුළට පැමිණි වෙඩික්කරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණි.

එහිදී වෙඩික්කරුට ගිනිඅවිය අධිකරණ භූමිය තුළට ගෙන ඒම සඳහා ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරිය විසින් සහාය ලබා දී ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය විය.

අදාළ සිද්ධියේ වෙඩික්කරු එදිනම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුව ද ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරිය අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාව ලැබුණේ නැත.

සැකකාරිය සොයා දිවයිනේ විවිධ ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම් සිදුකළ ද පසුව අනාවරණය වුයේ ඇය මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට පලාගොස් ඇති බවටය.

ඒ අනුව ඇය ඉන්දියාව ඔස්සේ නේපාලය බලා පලාගොස් ඇති බවට ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.

පසුව ඇය අත්අඩංගුවට ගැනීම සඳහා නේපාල ආරක්ෂක අංශ  සමග ඒකාබද්ධව සිදුකළ මෙහෙයුම්වලදී නේපාලයේ කත්මණ්ඩු සිට කිලෝමීටර 18ක පමණ දුරින් පිහිටි නිවසක රැඳී සිටිය දී ඊයේ (14) දිනයේ දී ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකාරිය ඇතුළු පිරිස අද (15) දිනයේ දී දිවයිනට රැගෙන ඒමට නියමිත බව වාර්තා වෙයි.